Thursday, July 26, 2018

මාරයාගේ ගින්දර






මහ මුහුද විසින් ප්‍රතික්ෂේප කල දිරා ගිය කොටය මත වාඩි වී බොහෝ වේලා ගත වුනිද

මා සිත තවමත් නිවෙමින් නොපැවතුණි පෙනෙනා දුරින් මේ සියල්ලම අවසන් වේ යැයි සිතුවමුත්, ප්‍රාර්ථනා කල මුත්, ඒ සියල්ල දුර ඈත පෙනෙනා
ක්ෂිතිජය මෙන් එක්තරා අදිසි මායාවක් බව ප්‍රත්‍යක්ශ ලෙසම මා හට අවබෝධ විය. පෘථග්ජන මනසකට අට ලෝ දමට කම්පා නොවී සිටීමට තව බොහෝ දුරක් යා යුතු බව
මා තව තවත් තව තවත් වටහා ගත යුතුමය. නමුත් මුහුදු රළ නිමා නොවනා සේම, නොනිමක්ව නැගී මතුවී විසිරෙන පීඩිත කාරණා යටපත් කිරිම ඇතැම් අවස්තාවන්දී මදක් අසීරු දෙයක් බව තරයේ මතක තබා ගත යුතුමය. සැන්දෑ වරුවක රළ බිදෙන හඩ අහන්නට මේ ඉසව්වට එන අවසන් වර යැයි සිතා පැමිණියද...
පීඩාවක් ගෙන දේ යැයි අනුමාන කල කාරණා ඒ තරම් තදින් පපුව තුල ගර්ජනා නොකිරීම ගැන මහත් සතුටක් ඇතිවුණි. මගේ හිත ගැන දැනගෙනද මන්දා මූදු හුලගට වැටෙන්නට පුලුවන් පොඩිම කරදිය බිදු පොඩිත් අරන් වරින් වර මා සියොලගම සිපගත් සැනසීම සයුර මා හට කරන අනුකම්පාවක් සේ මට හැගිනි...
…........................

දෙනෙතට සුපැහැදිලි දුරකින් වර්ණවත් අයිස් පලමක් ගත් පුංචි දගකාරයෙක්
තම දෙමව්පියන්ගේ දෑතට අසුවන මානයේ සිට මුහුදු රළ පෑගෙන නොපෑගෙන සීමාවක
ඔහුගේම දගකාර ලෝකයක කෑ ගසමින් ප්‍රීතියෙන් සිටියේය.

අවුරුදු දෙකක් හෝ දෙක හමාරක් විය හැකි යැයි අනුමාන කල හැකි සිගිත්තාට කාගේ වුවද නෙත් ඇදගැනීමේ
හුරුබුහුටි කමක් තිබුනේය.එනම් අපේ වචනෙන් "හරිම හුරතල්".
පුතු පැටියාගේ දගකාරකමට ඔහුගේ අම්මාටද ආදරණීය දඩුවමක් ලෙස ඇදුම් බොහෝ සෙයින්
මුහුදු වතුරට තෙත් කරගැනීමට සිදු වන බව ඇය කලින්ම දැන සිටියා විය හැක.
මන්ද ඇය පුතු හා විනෝද වූයේ ඇදුම් තෙත්බරිත වීම පිලිබද කිසිදු හිත් අමනාපයකින් නොවන බව ඉදුරාම පැවසිය හැක.
ඇය පුතු පැටියාගේ දගකාරකම් විදිමින් ඔහු හා එක්ව වැලි සෙල්ලම් කරමින් සිටියේ අප්‍රමාණ සතුටකිනි.


මේ දෙදෙනාම දිහා වඩාත් ආදරයෙන් හා සුපරික්ශාකාරීව බලා සිටි තාත්තාගේ මදකින් හෝ අඩු නොවන
නිරන්තර අව්‍යාජ සිනාවක් වත මඩල එලිය කර තිබුණි.
අම්මාටත් පුතාටත් රිසි සේ සතුටු වීමට පිලිවෙත් සකසා ඒ දෙස රජෙක් මෙන් සතුටින් බලා සිටියා විය හැක.
එසේත් නැතිනම්.... ආදරණීය රජෙක් තම ආදරණීයම ලොව දෙස බලා සිටියා යැයි පැවසීම වඩාත් උචිතය.


නමුත් වරින් වර "අප්පච්චී..." කියාගෙන දුව විත් කුමක් හෝ පවසා පිය දෑතට තුරුලු වූ කල ඔහු
සිය පුතුව සිප දෑතින් ගෙන ඉහලට ඔසවා සතුටු කර මුහුදු රල පෑගුමට ආරක්ශාකාරිව එක්ක ගිය වාරද මා දුටිමි.


මා ද ඒ පුතු පැටියාගේ  මායා බන්ධනයට අසුවූ බොහෝ වේලා හිතේ උපන් ආදරයත් කැටිව බලා සිටියෙමි..
සමස්ථය ඒ ආදරණීය පවුල දිහා බලා සිත ඔවුන් තුල ගිල්වා තැබුවෙමි.
මා කලාතුරකින් මෙවන් ආදරණීය පවුල් දැක ඇති නමුදු
මෙහිදීම අද එලෙස දැකීම යම් තාක් හිත සලිත කල කාරණාවක් විය.
…........................

මට මදක් මෑතකින් එකිනෙකට නොස්පර්ශ නොවී සිටි පෙම්වතුන් යුවලක්
ඒ දෙස ඇස් නොපියා බලා සිටි අයුරුත් මා බලා සිටියෙමි.
පෙම්වතිය ඇයගේ පෙම්වතාගේ අත තදින් මිරිකා සිනාසී ඔහු දෙස බලා ඉගියක් දුනි. ඒ වචන රහිත සන්නිවේදනයි.
පෙම්වතාද දෑස් දල්වා බලා සිට සිනාසී එම නිර්වාචික ඉගිය අනුමත කරන ලද්දේ ඊට අභිනයක් ද එක්කරමිනි.
ඒ ඔවුන් එක පියසකට එකතු වීමේ හීනය තුල සමාධි ගත ව එකිනෙකාගේ මුහුණ දෙස ආදරණීයව බැලූ අයුරුත්,
පෙම්වතා පෙම්වතියගේ හිස ආදරණීයව සිප ගත් අයුරුත් මා දුටිමි.


බැලූ බැල්මට මතුපිටින් ප්‍රිය වූ සුන්දරත්වයකින් සමන්විත වූ නමුදු පෙම්වතිය පෙම්වතාට වඩා
යම් තාක් නේක සාධක තුලින් උසස් හා වෙනස් පැළැන්තියක බව සත්‍යයකි.


නමුත්  වරින් වර තම ජංගම දුරකතනය තුල කිමිදුනු පෙම්වතියගේ හිස අතගාන පෙම්වතාගේ
දෑස රැදී තිබුනේ ඈත ක්ශිතිජය තුලය. ඔහු ඒ අනන්ත අහසත් සයුරත් එකතු වන තැන කිමිදුනා විය හැකිය.
කලාතුරකින් ඇයගෙන යොමු වූ ගැටලුවකට අහිංසකව සිනාසී සියුම් ග්‍රහණයෙන් සිර කරගෙන තිබූ
සියුමැලි දෑතසිප ගෙන තවත් ස්පර්ශය ත්‍රීව කලේය....
ඔහුගේ දෑස මත කුමක් හෝ විශාල අදිටනක් ලියවී තිබුණි....
…........................

මම තවදුරටත් පලක් නැති දැක්මෙන් අවදිව දෑස් නැවතත් ක්ෂිතිජය දෙස නාභිගත කලෙමි.
මා ප්‍රිය සැදෑ කලුවර කුර ගගා පැමිනෙමින් තිබුණි.


සියලු දේ එකතු කර බැලූ කල අවසානයේ මා හට ඉතිරි වූ කාරනා තුනකි.
එනම් ආදරයත්, අහසත්, මාරයාත් පමණි.
මේ තුන්වන කාරණාව මේ මොහොතේ දෙවැන්නකට එකතු කල අලුත් කාරණාවක් විය.
මන්ද එය සිහි වූයේ බැස යන චණ්ඩ හිරුගේ දෑත් වන් පෙරඹරට විහිදී තිබූ විහිදුම් යුගලය නිසාවෙනි.


මාරයා මා හට දෑත් දිගු කරනවා වැනිය
මට සිනා පහල විය. මම හිතින් මිමිණුවෙමි...
" මම දැන්ම සූදානම් නෑ. තව ටික කාලයක් අවැසිය. ඒ මා බැදීම් වෙනුවෙන්.
ඔබට ඒ කල තුල තවත් උත්සහවත් විය හැක. ඒ මා පරාද වූ තැනින් නැවත මා අත් හල දෙය අහුලා දීමට.
නමුත් දිගු කල ඔබේ දෑතට අසු නොවන සීමාවද එයම වනු ඇත......."


ගින්දර හා සෙල්ලම් කරන විට එය නොදැනුනේ යම් සේද එයින් දැවෙද්දී එය හදුනා ගතිමි.

එය මාරයාගේ ගින්දර වේමය.


දෙපා වාරු නැතිව වැටෙන්නට ගියද, දෙපා සීරී තුවාල වී රුධිරය වෑහුනද,
මා ප්‍රවේශමෙන් ආරක්ෂා කල යම් දෙයක් වේද මා එය ඔබටම භාර ගන්න ලෙස මාරයාට ආරාධනා කලෙමි.
දෙපා වාරු නැතිව වැටෙන්නට ගිය විට මා එලෙස වැටෙන්නට නොදී ආරක්ෂා කල
යමක් වේද මා පසු පස හැරී එදෙස බලා ආදරණීයව සිනාසුනෙමි.


ඈතින් තරු කැට දෙක තුනක් පායා ඇත. අනන්ත විශ්වයක් සේ මා හුස්ම සිදෙනා තෙක්
මාගේ ලෝකය ඒ සදාදරණීය අහස වනු ඇත...
........................

කරදිය සුලගින් සමුගැනීමට වෙලාව පැමිණ තිබුනි.


දුර්වර්‍ණව යම් තාක් අබලන් වූ හෙල්මටය ගෙන නැගිටිද්දි මෑතින් සුපුරුදු වූ බංකුව මතට
මෙවර නම් සැබෑ ලෙසම පෙම්වතුන් යුවලක් පැමිණ තිබුනු අතර,
ක්ශනයෙන් මගේ දැස් මා සිතන්නටත් පෙර මටත් නොකියා ඔවුන් වෙත පතිත වුයේ
හිතේ ජනිත වූ තිගැස්මට විය යුතුය.


කෙසේ වුවත් ඔවුන් ඉදිරියෙන් මාගේ රෝද යුගලයේ රථයට යා යුතුව තිබුණි.
ඒ ගමන් කල අඩි දහය තුල මා හිත මදක් කම්පා වීම නොවැලැක්විය හැකි දෙයක් බව මා මේ මොහොතේ සිතමි.
ඔවුන් හා ආසන්නතම දුරකදී පෙම්වතා මා හා නිහතමානීව සිනා සුනද,
ඔහුගේ පෙම්වතිය තුල තිබූ ඉහල සිත් පැලැන්තිය දෝ වැනි හැගීමක් නිසා මා දෙස දේවේශ බැල්මක් හෙලීය.


මා කිසිත් නොසිතා ඔවුන් පසු කරද... මා හට නැවත හැරී බැලීමට සිතුනේ ඇයි නොදනිමි.
එම පෙම්වතා තුලින් මම මා දුටුවාද යන හැගීමක් විය හැක.

නමුත්, කිසිවිටකත් ඔහු මා වැන්නෙකු නොවේවා සිතුවිල්ල තුල මා ඇසි පියවින.


නැවත මා හැරී බැලූ තත්ත්පර පහක පමණ කාල පරාසය තුලද ඔහු ද එම මොහොතේම මා දිහා බලා සිටියේය.

මා තුලින් එම වචන රහිත සන්නිවේදනය ඔහු වෙත ද ගමන් කරන්නට ඇත.


" මල්ලි.... පරිස්සමෙන් ... කල්පනාවෙන්.....!
…........................
….........

Anushka Madushan


26th July 2018