
වැලිමඩින් නුවර බස් එක තිබ්බෙ 1.40ට. බස් එක අලුතින් දාපු නිසා සීට් ගානට වත් සෙනග හිටියෙ නෑ.
හිතේ හැටියට තෝරලා ,සිතූත් මාත් වම් පස ආසන දෙකක වාඩි වුණා. කවුලුව අසල ඉඩ සුපුරුදු පරිදි ඇයට දී මම දකුණු පසට වුනේ තරහ අවුස්සන්න ඇයව කිති කවාගෙනම...
බස් එක පිටත් වෙත්ම ඇය දෙසට හැරී තොරතෝංචියක් නැතුව පටන් ගත්තා මාත් මගේ හෑලි කතා කියන්න....
අතරමගදි ගත්ත අඹ අච්චාරු එක ඉවර කරන්න කෙල්ලට විනාඩි 10 ක් වත් ගියේ නෑ වගේ.
ඊලගට කට දැවිල්ලට කන්න බිස්කට් පැකට් එකක් , අහන්න කලින්ම දුන්නෙ මවාගත්ත බොරු තරහකින්..
..............................................
පුස්සැල්ලාව පහු කරද්දි මීදුමත් එක්ක දෙදෙනාගෙම පුංචි නිහැඩියාවක් මතු වුනා.
කවුලුවෙන් එපිට බලා සිටි ඇය දෙස බලා අනිමිස ලෝචනයක් වැඩුනේ ඇයගේ සුරත මගේ දෑත් මත තීබියදීමයි..
" ඔයා මුකුත් අවුලකින්ද...?.. " ක්ෂිණිකවම මටත් නොදැනීම මගේ මුවින් පිටවුණේ ඇයි කියන්න ඒ වෙලාවෙ මටම හිතාගන්න බැරිවුණා.
ඒත් සිහින ලෝකයකින් බිමට බට වුවත් එය එලෙස නොවන බව ඇය පැවසුවා.නුහුරු තිගැස්මක් තිබ්බත්..... මට පිස්සු වෙන්න ඇතැයි මටම මුමුණාගනිමින් ආයේ පුරුදු කියවිල්ලටම වැටුනා.
............................................
අපි නුවරට එද්දි හවස 6 කිට්ටු වෙන්න ඇති. මහා වරුසාවකට පෙර නිමිති සේ මුලු ආකාසෙම කලු කරගෙන තිබ්බා.
රෑට කෑමත් අරගෙන සිතූව බෝඩිමට දමා ඇයගේ නලල් තල සිප ආපසු එන්න හිත දුන්නෙ නෑ. වෙනදාට වඩා සිතූගේ මූණ කලු වෙලා අහස වගෙ...
නොතේරුන කමට නලල රැලි කර ඇය දිහා බැලූ බැල්මටම සිනා සී ඇය මා හට "ආදරෙයි" පවසා බෝඩිම ඇතුලට ගියා...
ඒ සිතූව දැක්ක අන්තිම අවස්ථාව..............................................
පසුවදා මගේ යාලුවෙක් මාර්ගයෙන් අතට පත්වූ ලිපියේ ලොකූ හෑල්ලක් එක්ක අන්තිමට
".......... මට සමාවෙලා සතුටින් ඉන්න. තුනුරුවන් සරනයි සිදත් ....! කියලා ලියලා තිබුනා.
.........................................................
පෙරදා දුටු ප්‍රශ්නාර්ත හැම එකකටම වගේ පිලිතුරු චිත්‍රපටයක් සේ දෑස් මානයේ විකාශනය වන්නට වුනා.
හුස්ම තව දුරටත් ඉබේ වැටෙන්නටම ඉඩ දී, දොර උලුවස්ස ලගට හිමින් ඇවිදින් බිම වාඩි උනේ උදේ ඉදන් හිටි යාලුවො ගියාට පස්සේ.....
පිටතට නොපෙන්වූ මහා කෑකෑරුමකින් ප්‍රේරණය වූ එකම එක දෙයක් සිත් වචන වලින් දෝංකාර දුන්න.
" ..........සමහරවිට මම ආදරය කරන්න දන්නෙ නැතුව ඇති............."
................................................................
ඉර එලිය අවසන් ගමන් ගිය විදියට අහස කලු කරගෙන වහිනවා. පායන පාටක් හිතන්නවත්, පේන්නවත් නෑ.......
ඒත් හෙටම නැති වුවත් සේකරගේ ඉර කවද හරි පායයි.....
#TheNewSunඅළුත්ඉර
පිරිමියෙකුගේ ජීවිතය ආත්මීයව කම්පා කරවන දිනයක් ඇත්නම්, අද මා ද එහි උත්තරීතර හිමිකරුවෙකු වීමට තරම් භාග්‍යවන්ත වීමි......
ප්‍රමාද නොවී කාර්යාලයෙන් පිට වුනත් කාල වේලාවක නිමිත්තක් ගැන අවබෝධයක් නොවූ කල නිවසට පැමිනෙන විට ප්‍රමාද වී තිබිණ.
දහවල් මුහුණු පොතෙන් දුටු යමක්, නිරන්තරයෙන් හිත තුල හොල්මන් කරන්නට වූයේ අකුණු සැර වදින්නාක් මෙනි.
ඇස් පියාගන්නා සැනින් නික්මුනු ඒ අකුණු සැර මොලයටත්, හදවතටත් එක සේ කරන හානිය තවමත් නිමා වී නොමැත.
දිගු හුස්මක් පිට කර මදක් වත් සමනය නොවූ හිසරදය එක්කම ඇග සෝදා ගැනීමට වහා පිටවුනේ, ඇද උඩ වාඩි වී බොහෝ වේලාවක් ගිය වග දැණුන නිසාවෙන්ය.
ප්‍රකෘතිමත් වීමට වෙර දරන වාරයක් පාසා මා නැවත නැවතත් බිමටම සමතලා නොවුනී ද සිතිමි.
නිවැසියන් කෙරෙන් සගවන්නට වෙර දැරූ කුමක් හෝ කොතෙක් දුරට සාර්ථක වූවා දැයි ත් මා නොදනිමි. නමුත් මාගෙ නිදහසට උපරිම සාධාරණයක් ඉටු කරන ඔවුන් අද එය වඩා වටහාගත්තාක් මෙන් මා වෙත හේතු කාරණා විමසීමට නොඒම මා හට අතිශය අස්වැසිල්ලක් විය.
ඇය නමින් සමාධි. මට මුණගැසුනේ අ.පො.ස. උසස් පෙළ කරන අවධියේ.
ඇය මගේ ජීවිතයේ හමුවූ ප්‍රථම ප්‍රේමවන්තිය... එලෙසම නිසැක සුන්දරතම ප්‍රේමය.
ඒ නිසැක සුන්දර වූ ප්‍රේමයට අවුරුදු හතරක් ඉක්මවූවා පමණි ....
ඇයව මා හට අහිමි වන පෙර නිමිති එකින් එක පහල වන්නට වූයේ ඇයගේ දෙමව්පියන් තුල මගේ පවුල් පසුබිම ගැන වූ නොසතුටයි.
කෙසේ හෝ අවසානයේ ප්‍රේමයට තිත තබන්නට සිදු වූයේ, මෙතුවක් පිරික්සා නොකල කේන්ද්‍ර පරික්ශාවෙන් අනතුරුය.
ඇයගේ දෙමාපියන්ට එරෙහි වන්නට ගිය හැම අවස්ථාවකම මම නැවතී ගත් තීරණය හුදෙක් මට පමණක් පීඩා ගෙන දෙන්නක් බවට මනසේ නිදන්ගතව පීඩා ගෙන දෙයි.
නමුත්.. නමුත්.. වෙන් කරනට යමක් ද මා තුල නොපැවති බව මා දනිමි..
මගේ හිතේ කඩාහැලුනු අදෝනාව, කදුලු ලෙසින් ඇගේ නෙතු වලින් එදා වෑහුනු හැටි.....වතුර මලින් වෑහෙන වතුර බිදු අතරින් ඒ මතකයේ සුසුම් පිට වී ගියේය.
සියල්ල මා කාලයට භාර දුන් අතර කාලය විසින් අද දින එහි තීන්දුව ලබා දුනි.
රාත්‍රි කෑමක් පිලිබද කිසිදු හැගීමක් නොවූ කල එය වසා දමා තනිව සාදා ගත් තේ කෝප්පය රැගෙන එලියේ අඹ ගහ ගාව බංකුව ගාවට පැමිනියෙමි.
මුලු ලෝකයක් සුව නින්දට එලඹෙන වෙලාවක නින්ද යන වචනය පවා මගේ මනසට නුහුරු වෙලා තිබුනා.
තනිකමට ඉහල අහසෙන් එබුන අව අටවක හඳ මගෙන් කුමක් දෝ විමසනවා.....
...............................
...............................
ඇත්තටම අද ඇය ලස්සනයි. ගොඩක් ලස්සනයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරමට ලස්සනයි.
තම පෙම්වතිය මනාලියක් වී දකින මුල්ම නිමේශය පිරිමියෙකුට ජීවිතයේ මැරනකම් අමතක නොවෙන දෙයක්.
අවාසනාවකට අද මම එය දුටුවේ හිමිකම අහිමි වූ දෑසකින්.......
ඇයගේ ඇස්, සිනහව, ඔසරිය, සැරසූ හිස, මල් කලඹ....... ඇහිපිය විසින් පිස දමන්නට හදන වාරයක් පාසා පෙරට වඩා විද්‍යාමාන වුනා...
ඇය සතුටින් ඇති.. ඇය සතුටින් සිටීවා....
මා හට හිමි වී තිබූ ඇය මා හට අහිමි කරවූ... අද ඇයගේ විවාහ දිනයයි....
මම අවපස සඳ හා ඉකිබිදින මේ සීතල අදුරු රැය, ඇයගේ මධු රාත්‍රියයි......
හඳ දිහා බලාගෙනම තේ උගුරක් බිව්ව්ද එයද වෙනදා මෙන් රස නොවීය...
හද ලස්සනයි. හඳ මගේ නොවුනත්.. කොපමණ දුරක තිබ්බත් හඳ එලිය මගේ ලෝකයට වැටෙනවා නොවෙද.....
ආ මතකෙට යමක්.. හදිස්සියේ මිමිණුනා
ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා.......................
_#Anushka
සාලයේ බිත්තියට හේත්තු වී බිම හිද බලා වුන් අතම බලා සිටියා මිස... සිතන්නට යමක් මා හට තිබුණේ නැත. මා වාරු වී සිටි මේ බිත්තියටම මීට දින හතරකට කලියෙන් ද මෙසේ වාරු වී සිටියෙමි. නමුත් වෙනසක් ඇත. එදා මා හට දෙපයින් සිට වාරු වී සිටීමට යම් තාක් ශක්තියක් තිබූ නමුදු, අද ඒ ශක්තියේ නාම මාත්‍රික අංශුවක් හෝ නොමැත...
එදා .... අවදි වූ වේලාවක් නොතැකුව මුත් එදින දෛවය විසින් මට ලබා දී තිබූ අතිශයින්ම සීමිත වෙලාව තුල මාගේ ඒකායන අධිෂ්ටානය වූයේ ඒ සම්පූර්න කාලය තුල ඇය අසල සිටීම පමණයි. අවසන් දවසේ මළගෙදරට පැමිනෙන පිරිසට සංග්‍රහ කිරීම් ඇතුලු සියලුම කටයුතු වලින් මා නිදහස් වන බව වක්‍රාකාරයෙන් ඉල්ලා සිටියේ ජීවිතයේ මගේ අම්මා ලගින් සිටින්නට හැකි අන්තිම දවසේ එය මට රිසි සේ සීටීමට තිබූ එක්තරා කම්පිත වූ හැගීමකින්ය.
"හරි ... මගේ රත්තරනේ.. ඔයා අද අම්මා ගාවින් ඉන්න හැමදේම මම බලා ගන්නම්. තාත්තගේ බෙහෙත් ටික බලලා දෙන්න... ඒ වැඩේ විතරක් කරන්නකො ...."
අම්මාගේම පුතකු ලෙසින් මගේ හිස අත ගා මා සැනසූ මගේ ආදරණීය ස්වාමියා, මට ඒ මොහොතේ තිබූ ලොකුම ශක්තිය විය. ඔහු එක වේලක් වත් කෑවද කියා මම නොදැන සිටියත් මගේ වේල් තුනම ගැන වද වූයේ මගේ ශාරීරික දුර්වලවීම වත් අවම කිරීමට බව මා දැන සිටියෙමි.
වයස්ගත් වීම කරණකොට ගෙන අම්මා අප අතරින් වියෝ වූවා මිසක, ඇගේ පින්වත් භාවය පසක් කරමින් අම්මාට දුක් විදීමට ලෙඩක් පීඩාවක් අවසන් කාලය තුලදී සිදු නොවීය. කෙසේ නමුත් අම්මා කෙනෙක්ගේ වියෝව දරුවනට දරා ගත නොහැකි දෙයකි. මමත් මල්ලීත් ජීවිතයේ දරුවෙකු විසින් මුහුන දෙන ඒ අභාග්‍ය සම්පන්නතම සිදුවීමට, කම්පයනට මුහුන දී සිටියෙමු.
අම්මා දෙස බලා කල්පනාවේ නිමග්නව සිටි මා තාත්තා අසලට පැමිනි තාත්තා හිස අත ගා කතා කලා..
"ලොකු පුතේ උබ මොනව හරි කෑවද......? "
"තාත්තේ කන්න බෑ.. දවල්ටම මොනවා හරි කන්නම්.. තාත්තට ආයේ බෙහෙත් දවල්ට බොන්න තියෙනවා නේද...?
"ඔව් පුතේ... ඕවා නම් දැන් ඕනිත් නෑ.. .."
" එහෙම කියලා බෑ තාත්තෙ... තාත්තාට බොන්න මොනා හරි අරන් එන්නද..?
"..... එපා ලොකු පුතේ... මෙහෙම හොදයි...."
සුදු සාරියකින් දෑගිලි බැදගෙන ඇස් වහගෙන නිසොල්මනේ හිටියට.. අම්මා අපි දෙන්නා මෙහෙම නොකා නොබී ඉන්නවට පොඩ්ඩක් වත් කැමති නෑ. ඇය බඩගින්නේ හිද අපේ කුසගිනි නිවූ වාර ගණන.. මේ කතා නොකරන බිත්ති නම් දන්නවා ඇති.
මේ සිදුවෙලා තියෙන දේ ඇත්තක් වෙන්න බෑ කියන මායාවක තත්ත්පර කීපයක් සැරිසරනවා.. " මේ ඇත්තක්මද..... මේක පිලිගන්න බෑ...."
ඒත් ... ඇත්තටම පිලිගන්න අකමැති දෙය වෙලා...
වරින් වර පැමිණ අම්මාට අවසන් ගෞරව දක්වා අවසන ඒ අසලම සිටින මගේත්, තාත්තාගේත් දුකට එක්කහු වන පිරිස විටෙක මා හට කරදරයක් විය. සෙනග මදක් අඩු වූ ඇසිල්ලෙන් තාත්තා කටහඩ යලිත් වරක් අවදි කලේ අම්මා දිහා බලා ගෙනම...
"ලොකු පුතේ උබ හම්බෙනකොට අම්මට ගොඩක් අමාරු වුනා. දොස්තරල කිව්වෙ අම්මගෙනුයි, දරුවගෙනුයි එක්කෙනෙක් විතරයි ගොඩක් දුරට බේරගන්න පුලුවන් කියලා.....
ඒත් තුනුරුවන් සරණින් උබට වත් අම්මට වත් කරදරයක් වුනේ නෑ. එදා තමයි අම්මා ගොඩක්ම දුක් වින්දෙත්, ගොඩක්ම සතුටු වුනෙත්........."
මේ වෙද්දිත් මගේ නිරන්තර තෙත් බරිත වූ ඇස් එලෙසින්ම කදුලු උහුලා ගෙන සිටියේය. මා දැනගෙන සිටි කතාවක් වූ නමුදු එය ආයේ මතක් වෙද්දි කදුලු උල්පත් නැවත් ආරෝපනය වීම වැලක්විය නොහැකි දෙයක් විය...
මා පවුලේ වැඩිමල් දරුවා එලෙසම ගැහැණු දරුවෙක් වීම නිසා හෝ වේවා මගේ මුලු ජීවිතයම මා බෙදා ගත්තේ මගේ අම්මා සමගින්ය. තාත්තා ලගින් නොසිටියා නොවේ. ඔහු නිහඩව අම්මා වත්, මමත්, මල්ලීවත් අපිරිමිත සෙහෙහසකින් රැකබලා ගත්තේය. නමුත් අම්මා කියන්නෙ.... නැති වුන දාක ජීවිතය තුල මරනය අත් දකින දෙයක් හා සමානයි.
පෙරේදාට එලි වෙන පාන්දර අම්මාට අවසන් වතාවට අමාරු වී අපි ඇය අසලට යන විටත් තාත්තා අම්මාගේ හිස අතගාමින් ලගට වී සිටියේය. හුස්ම ගැනීමේ අපහසුව අසාධය වූ බැවින්, මහප්පාත් කැටිව මල්ලී අම්මාව ඉස්පිරිතාලයට එක්කන් ගියා. අඩවන් වූ දෑසින් අම්මා තාත්තා දෙස බලා සිටි අයුරුත්, තාත්තා විසින් අම්මගේ නලල සිප ගත් අයුරු මට මතකයි....
ඒත් කවදාවත් නැතිව තාත්තා එහෙම කලේ මුකුත් දැනිලා වත් ද... මගේ හිත එතෙක් නොගැහුන වේගයකින් ගැහෙද්දි මට තාමත් මතකයි.. ඒ පාන්දර යාමෙ තාත්තා බුදු පහන පත්තු කලා...
ඒත් උදයේ හිරු උදාවට කලින් අපේ අම්මා අපිව දාලා ගිහින්. ඒක දැනගත්තහම මගේ ඇගට දැනුනු අප්‍රාණිකත්වයට මම බොහෝ වේලාවක් පුටුවේ හිටි විදියටම හිටියා. ඒත් අදටත් මතකයි ඒ දැන ගත්ත වෙලාවේ වත්, අම්මගේ මිනිය ගෙදරට ගෙනාපු වෙලාවේ මම බෙරිහන් දෙන කොටත් , තාත්තා මහා සමාධි බුදුන් වහන්සේ කෙනෙක් මෙන් දෑස් අඩවන් කරනගෙන හිටිය විදිය... තාත්තා අම්මා දිහා බලන් බොහෝ වෙලාවක් ඇසිපිය සෙලෙව්වා පමණයි.
තම ආදරණීය බිරිද නොදැක දවසක් වත් හිදින්නට බැරි වූ කෙනෙක් , වරෙක ඇය නොමැතිව ගත කල එක රැයක සාංකාවට නින්ද නොගිය අයෙක්... මින් මත්තට කෙසේ ඇය නොමැතිව කාලය ගෙවන්නට තම හිත සමග ගිවිසුම් ගසා ඇතිද මා හට මහත් ගැටලුවක් විය. ඇය නො එන ගමන් ගිය වග දැන එදා ඒ තරම් නිහඩව දරා සිටීම පිරිමි කෙනෙක් ගේ දරාගැනීමේ හැකියාව ද.. එසේත් නැත්නම් කම්පනයද...
මා හට, අපිට මෙසේ දැනෙනවා නම්, ඇයගේ හෙවනැල්ල සේ සිටි වයස්ගත පුද්ගලයෙකුට කෙසේ නම් කම්පනයක් දැනෙනවා ඇත් ද....
.................................
දෙවනි හේවිසි හඩට හදවත් කම්පන වේගය වැඩි කලේ අම්මා අපේ කැදැල්ලෙන් සදහටම යන වෙලාව පැමිනි නිසාවෙන්ය. මා කෙතරම් හඩන්නට ඇත්ද මා නොදනිමි.
පාංශුකූලය වෙලාවෙත් මහා කාරුකික ඇස් වලින් කිසාගෝතමියක් සේ හඩා වැලපුන මගේ ඔලුව අත ගා......
" අඩන්න එපා ලොකු පුතේ....." කියා තාත්තා කියූ හැටි මට මතකයි.
මගේ මහත්තයාට වාරු වී අම්මාව සොහොනට අරන් යන තෙක් හා මිහිදන් කරන තෙක් ද මගේ ඇස් ප්‍රකෘති වූයේ නැත...
ඉකිබිදුම් සාගරයක් හමුවේත් නිමා නොවූ දුක් කද හේතුවෙන්... අම්මා මිහිදන් කල පසුවත් මට තව වෙලාවක් එහි රැදෙන්නට උවමනා විය.
"පුතා අයියා එක්ක ගෙදර ගිහින් ඉතිරි වැඩ ටික බලා ගන්න.. මම ලොකු දුව එක්ක ටිකක් වෙලා ඉදලා එන්නම්......" තාත්තා මල්ලිට එසේ පැවසුවේ සමහරවිට තාත්තාටත් තව ටිකක් රැදෙන්නට හිතුනා වෙන්න ඇති.
මලානික හිරු සේම ජීවිතේ උත්තරීතම ආදරයේ උල්පත නිවෙමින් තිබුනා. පර වෙවී එක දෙක වැටුනු අරලියා මල් පවා අපේ අම්මා වෙනුවෙන් වෙන්න ඇති. සියල්ලන්ම නික්ම ගිය පසු දැනුනු නිහැඩියාව , සුලගේ සෝ ගී රාවය එක්ක තාත්තාත් මමත් මුකුත් කතා නොකරම අපේ ලෝකයක කල්පනා කරන්නට ඇති....
අපි ගෙදර එද්දි මළ ගෙදර කටයුතු යම් දුරකට අවසන් වෙමින් තිබුනා.
ලගම ඥාතීන් හැරුනු කොට සියල්ලන්ම වාගේ නික්ම ගොස් තිබුනා. මල් මාලාවකින් සැරසවූ අම්මගේ ඡායාරූපය අසල කීප වතාවක්ම නැවතී මා සුසුම් හෙලූ හැටිත්.... තාත්තා දුරක ඉදන් ඒ දෙස බලා වුන් සැටිත් මට මතකයි..
ගෙදර අස් පස් කරන තුර මගේ ස්වාමියා මගෙන් විමසූ එකම කරුණක් ඇත...
"නෝනා තාත්තා සොහොනේදි වත් ඇඩුවෙ නැද්ද.......? "
ඇසූ සැනින් මා ඒ ගැන වූ නිහඩ කල්පනාවෙන් ඔහු පිලිතුරක් සොයා ගන්නට ඇත. අම්මාට අපිට වඩා මහමෙරක්ට ආදරේ පිදූ තාත්තා මෙලෙස ඒ වියෝව දරාගත්තේ කෙලෙසින්ද.... අවුරුදු 82 කට මේ තරම් ශක්තියක්... මා හට එය හිතගැනිමට වත් එදා නොහැකි විය..
අම්මා ගෙදරින් නික්මුනු මොහොතේ පටන් පැය කිහිපයක් ගෙවෙන්නට ඇත.
කදුලු නැවතුනද, හිතේ වේදනාව අම්මා ගැන මතක් වෙන සැරයක් පාසාම අම්මාගේ පින්තූරය එක්ක සිතුවිලි අතරමන් විය. තාත්තා විටෙන් විට ලගට ගොස් ඒ පින්තූර පිස දැමුවේ ඇය ලගින් සිටි අවස්තාවල ඇයගේ හිස අත ගෑ නිමිත්තටදෝ මට හැගිනි...තාත්තා තවමත් හිතේ දුක හිර කරගෙන පිටතට නොපෙනෙන්න අඩන බව වැටහුනා..
ඒ වන තෙක් ගෙවුනු දින තුනට වඩා, ඒ දින තුන අවසානයේ පටන් ...
මේ දැන් ගෙවෙන කාල පරිච්ඡෙදය මා ජීවිතයේ විදි, මතුවටත් විදින මගේ මරණයට වඩා වේදනාකාරී දින කිහිපය බව මට සපථ කරන්නට වෙන යමක් වුවමනා නැත. ඇස් පිය වුනා වෙලාවක්, කෑමක් බීමක් තියා.. හුස්ම ගැනීමත් වේදනාවක් බව එය සිහියට නැගුනු හැම අවස්තාවකම මට දැනේ....
" .... මට ඇති දෙයියනේ ජීවත් වුනා.... මහත්තයෝ...." බෙරිහන් දුනි. මගේ ලගම සිටි ස්වාමියා ගෙන් එපිටට යන්නට තරම් ඒ හඩෙහි ප්‍රබල තාවයක් තිබෙන්නට නැත..
හඩන්නට කදුලු වත් මගේ දෑස තුල දැන් ඉතිරි වී නොතිබුනි..
මට තාත්තගේ කකුල් දෙක යන්තමින් පෙනේ. ආයාසයෙන් හැරවූ හිසින් බුදු පහන දෙස බැලුවෙමි...
"ලොකු පුතේ බුදු පහන නිවෙන්නට දෙන්න එපා ...." තාත්තා මට නිතර කියූ දෙයකි. මම බුදුන් වහන්සේ දෙස බැලුවේ ජීවිතේ මෙතෙක් ලද මහා අසරණකමකින්....
බුදුන් වහන්සේ යමක් මට වටහා දෙන්නට හදනවා වුනත්.. දෙමාපිය සෙනෙහසේ විප්‍රයෝගය මා දවයි.මා ඒ ගින්නේ අලු වී හමාරය....
අම්මාගේ අවසන් කටයුතු කල දාට පහු දා පාන්දර මල්ලිගේ ලතෝනියත් එක්ක නැගිට දිව එන විට තාත්තා පපුව අල්ලන් ගොඩක් අමරුවෙන් හිටියෙ..
සහන්, මල්ලි එක්ක වාහනෙන් තාත්තව ඉස්පිරිතාලේ එක්ක ගියේ එයාලගේ ජීවිත ගැන නොහිතා.. මම ඒ බව දැනගත්තේ පස්සේ.. මොකද ඒ වෙද්දි මම කලන්තේ දාලා වැටිලා..
මම ඒ මොහොතේ ඉදන් වුන මුකුත් මතක නෑ.. මම ලතෝනි දෙද්දි සහන් මාව ඇදගෙන තාත්තා ගාවට එක්ක ගියා.. පැය කිහිපයකට කලින් මාත් එක්ක කතා කර කර හිටපු තාත්තා අපි හැමෝගෙන්ම සමු අරන් අම්මා හිටි විදියටම සැරසූ පෙට්ටියක නිදාගෙන උන්නා. තාත්තගේ මුහුන යන්තමින් දකිද්දිම මගෙ ඇස් ආයේ කලුවර වෙලා වැටුනා....
නොහෙලූ කදුලු කැටයක් ගානේ හිතේ තෙරපුනු ආදරය හිතේ බිත්ති නහර වලට දරාගන්න බැරි බව තාත්තා දැනගෙන හිටිය නම් අපි වෙනුවෙන් බලෙන් හරි අඩලා ඒක පිට කරනවා කියල දන්නවා. ඒත් අම්මා අපිව දාලා ගිහින් ඒ එක්ක තාත්තත් දාලා ගියහම, ඒක හැම දරුවෙකුටම නොලැබෙන මරණීය කම්පනයක්.
ඒ මරණයේ දෙවන සුනාමි රළ දෑස් මත්තේ පෙනි පෙනි පැමිණෙනවා.
අම්මා ට තාත්තා නොමැතිව සිටීමට නොහැකි වීමෙන් අම්මා තාත්තාව කැදවා ගත්තාද, එසේත් නැතිනම් තාත්තාට අම්මා නොමැතිව සිටීමට නොහැකි බව දැන තාත්තා , අම්මා සොයා ගියා ද නොදනිමි. නොසොයමි....
කෙසෙ වෙතත්, මටත්, මල්ලීටත්, අපි දෙදෙනාගේ මෙලොව වටිනාම සම්පත වූ ඔවුන් දෙදෙනා අපෙන් වෙන් වී හමාරය.
සතියක් තුල එකම ගෙදරක.. තවත් නික්මනකට පාර සූදානම් කරන පලමු හේවිසි හඩේ සංඥාව.... මා නැවත තිගැස්සුවා.
පලතුරු යුශ වීදුරුවක් සමග මා වෙන පැමිනි සහන් මගේ හිස අත ගා එය මදක් හෝ පොවන්නට උත්සහ කලා.
"....මැනික.. මේකෙන් පොඩ්ඩක් බොන්නකෝ. අපි හිතට හයිය ගන්න ඕනි රත්තරනේ. බලන්න ඔයා අන්තිමට කෑවේ මොනාද.... ඊයෙ රෑ කාපු බිස්කට් 2. මේක ටිකට් බොන්න නැත්නම් ආයේ කලන්තෙ දායි....."
මට තාත්තා ලගට යන්නට නැගිට ගන්නට අවශ්‍ය වූ බැවින් සහන්ගේ වාරුවෙන් බිත්තියත් අල්ලගෙන නැගිට අමාරුවෙන් පලතුරු යුශ වීදුරුවෙන් ටිකක් බිව්වෙමි....
අඩියෙන් අඩිය ගොස් බුදු පහනෙ තෙල් අලුත් කර තාත්තා ගාවට ආවා. මම පරඩැලක් වී ඇත. එහි පුදුමෙකුත් නැත....
මීට දවස් හතරකට පෙර අම්මාගේ හිස පිරි මැදූ විදියටම අද තාත්තාගෙත් මම ඔලුව පිසදමනවා.. කටේ කෙල සිදී ඇතත් කොහෙන් හෝ පැමිනෙන කදුලු මගේ වේලුනු තොල් තෙත් කලා....
"....තා..ත්තෙ ....... "........ "තා...ත්තෙ ....... "
අම්මගේ මහා ස්නේහයට නොදෙවනි වූ මහා පිය සෙනෙහසක ගැබුර මට වැටහෙන්නට මදක් පමා වුනා. පිටතට නොපෙන් වූ ඒ මහා ආදරයේ තරම හොයන්නට මේ ජීවිත කාලය ප්‍රමාණවත් නොවේවි.
අම්මා හිටි විදිය දෑස් වලින් ඡායාව මැකෙන්නට මත්තෙන්, අම්මගේ හත් දවසෙ දානයට කියා හිතද්දිම..යමක් සිහිවී..... මා එක් වරම තිගැස්සුනා.
අම්මාව මිහිදන් කල මොහොතේ පටන්, තාත්තා අසනීප වන්නට ගත වූ පැය ගණන් වල එකතුවෙහි
පිලිතුරත් සමග ...නිරුත්තර වූ මා...මගේ අතින් වැසුනු මුව එක්ක කදුලු නැවත වැගිරුවා
"තාත්තා අම්මාව නොදැක දවසක් වත් ඉදලා නෑ......"
අම්මා වෙනුවෙන් තාත්තා නොහැඩූ කදුලු සාගරයක් තරම් වෙන්න ඇති...
පිටතට නොපෙන්නුව මහා ආදරේ හිතේ තියන් අපිට බෙදපු, සමාධි බුදුන් වහන්සේ ඇස් පියාගෙන නිහඩව වැඩ සිටින අවසන් හෝරා කිහිපයයි...
අප ලොවෙන් හිරුත් සදුත් එකවර අහිමි වී ගිය කලෙක, සදාකල් උරුම ඒ අදුරට අපේ දෑස් හුරු කරන්නට කොපමන කාලයක් ගත වෙයිද මා නොදනිමි. සමහරවිට බැරි වෙන්නත් පුලුවන්..
නැගුනු දෙවැනි හේවිසි නාදයත් එක්ක සහන් මා අසලට පැමිනියේ... මම ද පණ ඇති මලමිනියක් බැවිනි...
" ..... හරි එහෙනම් කට්ටිය අල්ලමු......" තෙරපෙන පිරිස හා ඇඩුම් ලතෝනි මැද මට අසිහියෙන් මෙන් ඇසුනේය...
තාත්තාවත් අරන් යන්න හදන්නේ............
මිනී පෙට්ටිය වැසෙනවාත් එක්කම නැවත වරක් මගේ දෑස් අදුරු වූයේ සහන්ගේ දෑත් මා වටා යැවෙනු දැනෙන්වාත් සමගය ......................
_ #Anushka